මඩකලපුවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම

Brandix Facility in Batticaloa

යාවත්කාලීන කිරීම: 2021 මැයි 29, කොළඹ: සමාජ මාධ්‍ය තුළ මේ වනවිට සංසරණය වන වීඩියෝවක් හේතුවෙන් මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් සමහර කරුණු සාකච්ඡා වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් පහත දක්වා ඇත:

මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ, සාමාන්‍ය තත්ත්වයන් යටතේ, උපරිම වශයෙන් සාමාජිකයින් 5,012 දෙනෙකුට සේවය කළ හැකි වේ. කෙසේ වුවද සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සෞඛ්‍යය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශවලට අනුව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාවේදී මෙම සංඛ්‍යාව 4,050 ක් දක්වා අඩු කරන ලදි. මෙම සාමාජික ප්‍රජාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අවසානයේ සේවයට වාර්තා කළ පසුව, ඔවුන් අතරින් 70 දෙනෙකු මේ දක්වා, එනම් 2021 මැයි 29 දිනය වනවිට, COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ආසාදිත සාමාජිකයින් හඳුනා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍යය හා සුරක්ෂිතතා විධිවිධානවලට අනුව, ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් හා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් වෙත දැනුම් දී, ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් නිර්දේශ කරන ලද ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. මීට අමතරව, මෙම සාමාජිකයින්ගේ අවශ්‍යතාවන් පැහැදිලිව හඳුනා ගැනීම සඳහා ඔවුන් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි කටයුතු කරමු. තවද ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අවශ්‍යතාවන්ද සොයාබලා, අවශ්‍ය පියවර ගනු ලැබේ.

මෙම ආසාදිත සාමාජිකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන, ඔවුන් වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමුකරවීමට අපි කටයුතු කළෙමු. සමීප ආශ්‍රිතයන් පිළිබඳව අදාළ සියලු තොරතුරු මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් වෙත ලබාදෙන ලද අතර, රජයේ සෞඛ්‍යය බලධාරීන්ගේ උපදෙස් අනුව ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. නිරෝධායනය වෙමින් සිටින සියලුම සාමාජිකයින්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර, දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුව, නැවත සේවයට වාර්තා කිරීමට ප්‍රථම ඔවුන්ට PCR පරීක්ෂණ සිදුකර, ආසාදිත නොවන බවට තහවුරු කරනු ලැබේ.

COVID-19 ආසාදනය වූ බව හඳුනා ගනු ලබන සාමාජිකයෙකුගෙන්, ඔහු හෝ ඇය වෙසෙන ප්‍රජාව වෙතට වෛරසය පැතිරී යාමේ ඉඩකඩ අවම කිරීම සඳහා සමාගම දැඩි විධිවිධාන යොදා ඇත. මීට අමතරව, පසුගිය වසරේ සිටම, ගර්භනී සාමාජිකයින්, නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන සාමාජිකයින් සහ වෙනත් හඳුනා ගත් කාණ්ඩවලට අයත් සාමාජික ප්‍රජාව නිවසේ රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන අතර, එම කාලසීමාව සඳහා ඔවුන්ට හිමි සම්පූර්ණ වැටුප සහ දීමනාද ගෙවනු ලැබේ.

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකතුමන්, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සහ ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරී ඇතුළුව, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නියෝජිතයන් කණ්ඩායමක් 2021 මැයි 25 දින මඩකලපුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණහ. එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව, අප කර්මාන්තශාලාව අදාළ සියලු සෞඛ්‍ය හා සුරක්ෂිතතා විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යන බව ඔවුන් සහතික කළ අතර, එය අප සෑම විටම අපගේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බව නැවත වරක් තහවුරු කිරීමක් විය. අතිරේක ආරක්ෂක පියවරක් වශයෙන්, 2021 මැයි 26 වන දින සිට අපගේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය මේ වනවිට 2021 ජූනි 07 දින දක්වා දීර්ඝ කර තිබේ. අපගේ සාමාජික සාමාජිකාවන් ඇතුළුව සමස්ත මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපි දිගින් දිගටම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නෙමු.

මඩකලපුව දිස්ත්‍රික්කයේ හා ඒ අවට ප්‍රදේශවල වෙසෙන 5,000 කට අධික පිරිසකට මඩකලපුවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව තුළ රැකියා අවස්ථාවන් හිමි වී ඇත. ඔවුන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සමාගමේ ප්‍රමුඛතම අවධානය යොමු වී තිබේ. මෙම දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලාවක් ආරම්භ කළ ප්‍රථම ඇඟලුම් නිෂ්පාදන සමාගම ලෙස, සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන් ඔස්සේ බොහෝ දෙනෙකුට ජීවනෝපාය මාර්ග උදාකර දීමට මෙන්ම, සමාජ සත්කාර වැඩසටහන් ඔස්සේ ප්‍රදේශයේ ජනතාවගේ විවිධාකාර වූ අවශ්‍යතාවන් සපුරාලීමටද අපි කටයුතු කර ඇත්තෙමු. සුරක්ෂිත හා වගකීම් සහගත සේවා යෝජකයෙකු සහ මඩකලපුව ප්‍රජාවේ සාමාජිකයෙකු ලෙස අප වෙත පැවරී ඇති වගකීම අප දිගින් දිගටම ඉටුකරනු ඇත.

message
Greetings from Brandix close
Hello and welcome to Brandix. I am here to help you with Careers at Brandix.